Sunday, December 2, 2012

දියුණුව හා ආර්ථික සවිබලතාවය


අරුණි සිතුතියි ඔබගේ පැමිණීමට සහ කොමෙන්ටුවට!

බ්ලොගය පැත්තට එන්න බැරිවුන නිසා එය පලකිරීමට  ප්‍රමාද වුනා කොහොම වුනත් මගේ ලිපියකට පළමුවෙන් කොමෙන්ටුවක් සටහන් කරන්නේ ඔබ!

මගේ කතාවේ මුලින් ම මම කීවා මගේ අදහස් ප්‍රකාශ කරන්නේ ආර්ථික විද්‍යාව ගැන දැනුමක් නොමැතිව කියල. මගේ අදහසේ හැටියට මා වැනි ම අය බොහෝයි! එනිසා මවැනි  පුද්ගලයෙකුට කාරණා පැහැදිලිකිරීම එම කුලකයටම කතා කිරීමක් වේවි. මගේ අදහසේ හැටියට දියුණුව හා ආර්ථික සවිබලතාවය කියන්නේ එකිනෙකට සමාන වගේ පෙනුනත් සමාන්තර නොවූ දිශා දෙකකට දිවෙන මාර්ග දෙකක්. ඔබ පැහැදිලි කරන අයුරින් ඇමෙරිකාවේ බහුතරය වන උදවිය ඔය කියන තරමටම නිදහසක් බුක්ති විඳින්නේ නැතිබවයි මගේ අදහස.

ඔබගේත් උදිතගේත් අදහස් බොහෝ සෙයින් සමානයි. නමුත් ඒ අදහස් වල ඇත්තේ අප ඉපදුන දේශයේ අප ආඝ්‍රහණය කල සුවඳම නොවෙයි. එහි ඇති නුහුරුබව ම නිසාම ඔබ දෙදෙනාගේ ලිපි මම කියවනවා. නමුත් බොහෝ අවස්ථාවල මට හිතෙන්නේ ඔබේ අදහස ඔස්සේ ගමන් කොට දීර්ඝ කාලීනව බැලුවහොත්  එහි අවසානය එතරම්ම සුන්දර නොවන බවක්.

ඔබගේ ලිපියේ මේ බලතල යනුවෙන් අදහස් කරන්නේ ආණ්ඩුවේ වගකීම් (liabilities) නේද?

රටක් කරවන්නට මුදල් අවශ්‍යයි. ඒ මුදල් ලැබෙන්නේ රටේ සම්පත් වලින්. අනේ රටවල් හා ගනුදෙනු කිරීමෙන් හා  ස්වයං පෝෂිත වීමෙන් රටක පැවැත්ම සිදුවෙයි. නමුත් ඔය කියන දේ එතරම් සරල නොවන්නේ විවිධාකරවූ මිනිස් ක්‍රියාකාරකම් නිසයි.

මෙහි ඉදිරියෙන් ම සිටින්නේ තරඟයයි. එයට අමතරව නිදහස, බලය, සංස්කෘතිය හා නොයෙක් ලැදියාවන් පිලිබඳ වූ අරමුණු නිසා රටක පැවැත්ම වෙනස් විය හැකියි. නමුත් දියුනුව යනු හුදෙක් ආර්ථික ශක්තියම නොව පුද්ගලයෙකුගේ අවශ්‍යතාවලින් බොහොමයක් සම්පූර්ණ වීමය. ශ්‍රී ලංකාව තම පැවැත්ම උදෙසා සමාජවාදී ක්‍රමයක් අනුගමනය කිරීමට තීරණය කොට ඇති අතර ගැටලුව වන්නේ එය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී ඇති තත්වයයි. ශ්‍රී ලංකිකයෝ බහුතරය උත්පත්තියෙන්ම අල්පේච්ඡ දිවියක හිමි කරුවන් වූයේ ඔවුන් වෙත මවාපෑ ලෝකය නිසාය. විවිධ පරිපාලන ක්‍රමවේද,  ජාතීන් ආගම් රාජ්‍යයන් පිළිබඳව ඔවුන්ගේ ආකල්ප ඔවුන් වෙත ගිල්ලවූවක් වන අතර විචාරයකින් තොරව ඒවා ගිලින්නට ලබන අධ්‍යාපනය ඔස්සේ රුකුල්දෙයි. නමුත් සිදුවිය යුතුව ඇත්තේ එකී අර්ථ ශුන්‍ය අල්පේච්ඡ ජීවිතය අර්ථවත් කිරීමය. මෙයට විකල්පයක් වශයෙන් මමත්වය මූලික කොට තැනූන ධනවාදය අඳුන්වාදීම නොම විය යුතු අතර එය ඊට වඩා ගැඹුරු අර්ථයක් ඇති යමක් පිළිබඳව කතිකාවක් විය යුතුය.

අපේ ශ්‍රී ලංකාවේ මිනිසුන් අන් රටවල මෙන්ම සවිමත් පුද්ගල ප්‍රතිරූපයන් හා බැඳෙයි. උගතුන් හා කපටින් නොයෙක් අරමුණු වෙනුවෙන් එක්රොක් වෙද්දී බහුතරය වූ සාමාන්‍ය ලාංකිකයන් ඔවුන්ගේ අලෙවිකරණ උපනැන හමුවේ  වල්මත්වන්නේ ඔවුන්ගේ මා ඉහත කී අල්පවූ විචාර බුද්ධිය නිසාය. උදිත ගේ සටහනේ කියන  'අපට රජෙක් ඕනෑ' යයි හඬ නැඟෙන්නේ ඔවුන්ගෙන්ය.
  
ඇමෙරිකාව  පමණක් නොව බොහෝ දියණු රටවල මිනිසුන් තුන්වැනි ලෝකයේ මිනිසින්ට සාපේක්ෂව වඩා මානසික ආතතියෙන් පෙලෙත්! තරඟකාරී වටපිටාව තුල ඔවුන් ඔවුන්වම සිරගතකොට ඇති අතර සීමිත පුද්ගල අන්තර්සම්බන්ධතා සහිත පීඩනයෙන් පිරි දිවියතුල ඔවුන් වේගයෙන් දිවයන අතර ඔවුන්ගේ ළඟ ඔබ අප ලංකාවේ දකින මවුපිය දූදරු සම්බන්ධතා හෝ අන්අයෙකු කෙරෙහි වූ අන්නෝන්‍ය බැඳීම් දැකීම උගහටය. මන්ද ඔවුන්ගේ සියලු අභිප්‍රායන් මුදල් සෙවීම සඳහාම යොමුවී ඇති නිසාවෙන් හා  සියලු දේ ඒ මත රැඳුනු තාවකාලික දේ වීම හේතුවෙනි.

අධික ආර්ථික පිපාසාවකින් පෙලෙන ඔවුන් සමාජීයවූ  ඉතා සංකීර්ණවූ ගැටළු වල පැටලෙමින් පවතී. මැදිවියේදී දරුවන් ලබා ඔවුන් දිවා සුරැකුම්පලක රඳවා තව තවත් මුදල් සොයා වෙහෙසෙන්නේ ඒහැර කලයුතු අන් යමක් නොමැති නිසා නොවේද? ඔවුන් මෙන්ම ඔවුන්ගේ දරුවන්ද දෙමාපිය සෙනෙහසින් මිදී හැදී වැඩෙත්. මුදල් සතුටට පෙරලන සුත්‍රය පමණක් ඔවුන් සමීකරණය කරන්නේ ඇතැම් මානුෂික හැඟීම් ශුන්‍ය  කොට සැලකීමෙනි. මන්ද යත් ලොව දියුණුම තාක්ෂණය,  විද්‍යාව තුලින් සැදි එකී සමාජය එතරම්ම සංවේදයෙන් තොරය, වියලිය, කර්කෂය, එකාකාරී එකක් නිසාය. එකී සමාජයේ ජීවත් වෙමින් වඩා සරල වූද  තෘප්තිමත්වූද  ජීවිත ගතකිරීමේ වාසනාව ලබන්නේ අතලොස්සකි. ඔවුන්ගෙන්ද බහුතරය බොහෝ ධනවතුන් නොවෙත්.

පොලිස්කාරයෙක්ගේ වේශයෙන් හොරකමේ යාම. පසුගිය දශක කීපය ගැන සැලකිල්ලක් දැක්වූවොත් නොයෙක් හේතූන් මුවාවෙන් ඇමරිකානු මැදිහත්වීම මත සිදුවූ බොහෝ මෙහෙයුම් වල යටි අරමුණු බලය හෝ ආර්ථික හේතූන් නොවේද? යම්කිසි ආර්ථික වාසියක් ඇති තැනටම  අත පොවාගන්නට පෙළඹෙන්නේ ඔවුන් සඟවන්නට උත්සාහ කරන සැබෑ පරිහානිය නිසා නොවේද?

(මතු සම්බන්ධයි)

No comments:

Post a Comment