Tuesday, October 9, 2012

ලෝකෙ තියෙන්නෙ වාද දෙකයිද

@ සතිත්,

ලෝකෙ තියෙන්නෙ වාද දෙකයි:
1. තමන් උපයන ධනය තම කැමැත්ත අනුව වැය කිරීම -ධනවාදය
2. තමන් උපයන ධනය වෙන අයෙක්ගේ කැමැත්තට අනුව බෙදා දීම -සමාජවාදය

වාද ඔක්කොම පදනම් වෙන්නේ මේ දෙක මත. කොච්චරක් වැය කරන්න ඉඩ දෙන්නෙ, කොහොම ද වැය කරන්න ඉඩ දෙන්නෙ, කවුද බෙදල දෙන්නෙ, කොහොම ද බෙදලා දෙන්නෙ යනාදිය අනුව තමයි අනිකුත් කොටස් හැදෙන්නේ.

තමන් උපයන ධනය තම කැමැත්තට අනුව වැය කරන්නට ඉඩක් වැඩියෙන් දුන් හැම අවස්ථාවක ම රටක්, ජාතියක් ලෙසින් යහපත් වූවා. තමන් උපයන ධනය තම කැමැත්තට අනුව වැය කරන්නට හැකියාව අඩු වූ හැම අවස්ථාවක ම රටක් ජාතියක් අන්ත දුගී බවට ගියා.

ඉතින් තෝරා ගැනීමට අපේ ම වූ වාදයක් කියා එකක් අනවශ්‍යයයි. මිනිසා නම් ලෝකයේ කොහේ හිටියත් එකම ස්වභාවයකින් හැදිච්ච මිනිසෙක් නිසා.


ඔබේ පැහැදිලි කිරීම අනර්ගයි.

නමුත් ඒ සමගම නැගෙන ප්‍රශ්න ටිකකුත් තියනවා මට. මිනිසුන්ගේ ශිෂ්ටත්වයට පත්වීමත් සමගම තමයි රාජ්‍ය පාලනය ගැනත් සිතුවිලි ඇතිවන්නේ. ඒ අනුව යහපත් රජයක ලක්ෂණය නම් පාලන යන්ත්‍රය විසින් තමන් යටතේ ඉන්න ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා රටේ සම්පත් කළමනාකරණය කිරීම හා සංවර්ධනය හා  සාමය ආරක්ෂා කිරීමයි. නමුත් නොයෙක් හේතු සාධක නිසා රජයක මෙකී අරමුණු වෙනස් ආරක් ගැනීමට  පුළුවන්.

මේ සඳහා අතීතයේ පටන් ඔය සමාජවාදී සහ ධනවාදී ක්‍රම දෙක තමයි මුලිකවම යොදාගෙන තියෙන්නේ. තියන උදාහරණ අනුව අන්ත සමාජවාදී ක්‍රම අනුගමනය කල රටවල් වලට පරාජය වෙන්න වුනා කියල කියුවත් ලඟට ගිහින් හොයල බැලුවොත් දකින්න ලැබෙන්නේ පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී කාලයත් සමග ඇතිවන අවශ්‍යතා වලට නම්‍යශීලී වීමට රාජ්‍ය යාන්ත්‍රනය ඉඩක් තුල නොතැබීම නොවේද?
අපි කතා කරන්නේ ලංකාව ගැනනේ. ඉතින් ඇත්තටම බැලුවොත් ඔය 77න් පසුව සිදුකල විවෘත ආර්ථික ප්‍රතිපත්ති වුවත් අප රටට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක නොවුන නිසා කෙතරම් හානියක් සිදු වෙලාද ද? කිසිවෙකු දියුණුව යයි ඇඟිල්ල දිගුකොට පෙන්වන අරුත් සුන් ණය රෝල් නිසා රටේ මුදල් වටිනාකම අඩුවුණා පමණක් නොව වෙනත් රටවල් අනුකරණය කරන්නට ගොස් සංස්කෘතික වශයෙන් සිදුවුණා පසුබෑම මිලකළ හැකිද?  අපේ දේශීය නිෂ්පාදන දියුණු කිරීම පසෙක ලා ආනයනය කල භාණ්ඩ අපේ නිෂ්පාදන නැත්තටම නැතිකළා නොවේද?

ඔබ පැහැදිලි කල ලෙස ධනවාදී රටක තමා උපයන මුදල තමා කැමති ලෙස වියපැහැදම් කල හැකිද? යම් කෙනෙකුට සාපේක්ෂව විශාල මුදලක් ඉපැයීමට හැකි වුවත් ඒ කොපමණ බදු ප්‍රමාණයක් රජයට ගෙවා අවසන් කිරීමෙන් පසුවද? එම බදු මුදලින් ඔවුන් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආරක්ෂාව නොදෙන්නේද? එනිසා දියුණු රටවල් තම ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඉහත කී ක්‍රමයන් ගේ තමන්ට ආවේනික වූ  සංයෝජනයක් ක්‍රියාවේ යොදවන බව මගේ හැඟීමයි.
 
මගේ අදහසට අනුව ලංකාවේ  සංවර්ධන ක්‍රියාවලිය පසුබෑමට ප්‍රධාන හේතුව ලෙස ප්‍රධාන වශයෙන් සැලකිය හැක්කේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයයි දෙවනුව  එම අදූරදර්ශී අධ්‍යාපනය නිසා තව දුරටත් වර්ධනයවන අවිචාරයයි. කොටින්ම ආකල්පමය වශයෙන් වන පිරිහීම නිසාම  ඇතිවන දීර්ග කාලීන විනාශයයි. රජයේ මැදිහත්වීම තුල සිදුවන ව්‍යාපාරවල  දියුණුවක් නොලබන්නේද කිසිම හේතුවක් නිසාවත් තීරණයක වගකීම කිසිවෙකු හට පුද්ගලිකව බැර නොවන සේ සැකසුන අපේ රාජ්‍ය යාන්ත්‍රනයත්  නිසාය.

3 comments:

  1. සතිත් මම උදිත ගේ අන්තර්ජාල සටහනේ ප්‍රතිචාර දැම්මා. මේක දැක්කෙ පසුව. ඒ ටික මෙතැනට කොපි කරන්නම්. මෙවැනි සංවාද පටන් ගන්නවා දැකීම ඉතා සතුටක්.

    *****
    උසස් අරමුණු තිබුණු පළියට ඒවා සාක්ෂාත් කර ගැනීමට මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය ඉඩ දෙන්නේ නැහැ. යහපත් රජයක් විසින් කළ යුත්තේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා රටේ සම්පත් කළමනාකරණය කිරීම හා සංවර්ධනය හා සාමය ආරක්ෂා කිරීම නමුත් මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය නිසයි රජයක මෙකී අරමුණු වෙනස් ආරක් ගන්නේ.

    උදාහරණයක් මෙහෙම: කිසිම මිනිසෙක් තව කෙනෙකුගේ ජීවිතයට හානියක් නොකළ යුතුයි. එය උසස් අරමුණක්. ඒත් එය සාක්ෂාත් කරගන්න කුමන නීතියක් කුමන දඬුවමක් ගෙන ආවත් හැකි වු රටක් ලොව නැහැ. රටේ සංවර්ධනයට සම්පත් බෙදා යද්දී ද හැම මිනිසෙක් ලවාම තම වගකීම කරවන්න හැකි වූ ක්‍රමයක් ලොව නැහැ.

    //ලංකාව ගැනනේ. ඉතින් ඇත්තටම බැලුවොත් ඔය 77න් පසුව සිදුකල විවෘත ආර්ථික ප්‍රතිපත්ති වුවත් අප රටට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක නොවුන නිසා කෙතරම් හානියක් සිදු වෙලාද ද? //

    ගැලපෙන අයුරින් විවෘත ආර්ථක ප්‍රතිපත්ති කියා දෙයක් නැහැ. එහි ඇත්තේ එකම ක්‍රමයක් පමණයි. එනම් තම ආයෝජනය අවදානමකට ලක් කරන්න කැමැත්තාට ඉඩක් ලැබීම. ලංකාවේ කිසිම දවසක විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ නැහැ. බලතල ලත් ආණ්ඩුවේ සුලුතරයක් අත යමක් රටට ගෙන්වීමටත්, යමක් රටෙන් පිට විකිණීමටත් සිද්ධ වෙන තීරු බදු රටා, කෝටා ක්‍රම යනාදියෙන් වු ආර්ථිකය විවෘත වූ බවකින් යුතු වූවා යැයි කියන්න බැහැ.

    //කිසිවෙකු දියුණුව යයි ඇඟිල්ල දිගුකොට පෙන්වන අරුත් සුන් ණය රෝල් නිසා රටේ මුදල් වටිනාකම අඩුවුණා පමණක් නොව වෙනත් රටවල් අනුකරණය කරන්නට ගොස් සංස්කෘතික වශයෙන් සිදුවුණා පසුබෑම මිලකළ හැකිද? අපේ දේශීය නිෂ්පාදන දියුණු කිරීම පසෙක ලා ආනයනය කල භාණ්ඩ අපේ නිෂ්පාදන නැත්තටම නැතිකළා නොවේද?//

    කවුද ඒවායේ නිරත වූයේ කියා සොයා බලන්න. සාමාන්‍ය මහජනතාවට තම මුදලක් ආයෝජනය කර ව්‍යාපාරයක නියැළෙන්නට කොතරම් නිදහසක් ලැබුනා ද? නැත්නම් ඒ වෑයම් ගත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සැකසූ අය සහ ආණ්ඩුවට හේත්තු වී සිටි බඩතඩි මුදලාලිලා නොවේ ද? දේශීය නිෂ්පාදන වැඩි දියුණු කළ අය හිටියා. උදාහරණයක් වෙන්ඩොල්. ඒත් ඔවුන්ගේ වෑයම ද රට තුල සීමා වෙනවා පිටරට ගණුදෙනු සඳහා තීරු බදු, කෝටා සහ රට රටවල් අතර ආර්ථික ප්‍රතිපත්ති සැකසුම ආණ්ඩුවේ බලය ලත්තවුන් අතේ තියෙද්දී. වෙනත් විදියකින් කිව්වොත්, අපේ නිෂ්පාදන නැති කළේ විවෘත ආර්ථිකයක් යැයි බොරුවට කියා ගෙනාපු අපේම අයහපත් ඇඟිලි ගැසීම් වලින්.

    ReplyDelete
  2. //ඔබ පැහැදිලි කල ලෙස ධනවාදී රටක තමා උපයන මුදල තමා කැමති ලෙස වියපැහැදම් කල හැකිද? යම් කෙනෙකුට සාපේක්ෂව විශාල මුදලක් ඉපැයීමට හැකි වුවත් ඒ කොපමණ බදු ප්‍රමාණයක් රජයට ගෙවා අවසන් කිරීමෙන් පසුවද? එම බදු මුදලින් ඔවුන් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආරක්ෂාව නොදෙන්නේද?//

    අද ධනවාදී රටක් කියන නාමෙකට හරි තියෙන එකම රට ඇමෙරිකාව. තමා උපයන මුදල තමා කැමති ලෙස වියදම් කරන්න හැක්කේ අඩුම ගානේ 20% ක් වත් බදු ගෙවීමෙන් පසුව පමණයි. ඒත් ඒකට මිනිස්සුන්ගේ දැඩි විරෝධතාවයක් නැහැ. ගොඩක් දෙනා 20% ක් ආදායමෙන් රටේ දුප්පතුන්ට යනවාට අකමැත්තක් නැහැ.

    නමුත් නොමිලේ අධ්‍යාපනය හා නොමිලේ සෞඛ්‍ය කියද්දී අපි දුප්පතුන්ට යහපතක් නෙමෙයි කරන්නේ. එහෙම නොමිලේ වැඩ සටහන් වලින් ආණ්ඩුවේ බලතල වැඩි වී නාස්තිය වැඩිවෙනවා මිසක් දුප්පතුන්ට යහපතක් වෙන්නේ නැහැ. නිකම් දෙන දෙයක් බලාගෙන ඉන්නා අය බෝ වීමත් වැඩියි. ඔවුන් තම වගකීම පැහැර හරිනවා. එයින් වෙන්නේ වෙහෙසන අයත් වෙහෙසීම පැහැර හැරීම. එතකොට බෙදා දෙන්න දෙයක් නැහැ. දැන් යුරෝපීය රටවල දැඩි සේ පවතින්නේ එවැනි තත්වයක්. කිසිවෙක් වැඩියෙන් හම්බ කරන්නේ නැහැ බදු අධික වශයෙන් ගෙවන්නට සිද්ධ වෙන නිසා. ඉතින් බෙදා දෙන්න මුදල් අඩුයි.

    //එනිසා දියුණු රටවල් තම ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඉහත කී ක්‍රමයන් ගේ තමන්ට ආවේනික වූ සංයෝජනයක් ක්‍රියාවේ යොදවන බව මගේ හැඟීමයි.//

    තම මුදල් තමා කැමති පරිදි උපයන්නටත්, තමා කැමති පරිදි වියදම් කරන්නටත්, තවත් විදියකින් කිව්වොත් අඩු බදු සහ අඩු නොමිලේ බෙදන සැලසුම් තියෙන රටක් සීඝ්‍රයෙන් හා වැඩියෙන් දියුණුව කරා යනවා.

    ජනතාවගේ සුභ සිද්ධිය සලසන්නට තමන් දන්නවා යැයි කියා මහා පරිමානයෙන් සැලසුම් ගැසූ යුරෝපීය යුනියනය අද බංකොළොත් වෙමින් යනවා.

    ලෝකයේ ඇති රටවල් වලින් අද ඇමෙරිකාව තමයි නිදහස් ආර්ථිකය ඇති රටක් විදියට යාන්තමට හරි ඉතුරු වෙලා තියෙන්නෙ. එය වෙනස් කරන්නට ඔබාමා දැරූ උත්සාහයන් නිසා තමයි ඔහුට තිබි ජනප්‍රියත්වය අද අඩුවෙලා තියෙන්නේත්.

    //ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පසුබෑමට ප්‍රධාන හේතුව ලෙස ප්‍රධාන වශයෙන් සැලකිය හැක්කේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයයි//

    පැහැදිලිවම එය තමයි. අපි බ්‍රිතාන්‍ය සුද්දා ඇවිත් මිෂනාරි පාසැල් පටන් ගත් නිසා සුද්දාව එළවා ඉංග්‍රීසිත් එපා කියා සිංහලෙන් වැඩ පටන් ගත්තා. ඇමෙරිකන් හෙන්රි ඕල්කොට් ලංකාවට ඇවිත් බුද්ධාගමට පුනර්ජීවයක් ලබා දුන්නා. බුද්ධ ධර්මය ප්‍රථම වරට පුජ්‍ය පක්ෂයට පමණක් අයිති වු දැනුමක් නොව ලෝකයේ ඕනෑම තැනක ඉන්නා අයෙකුට හදාරන්නට හැකිවෙන්න ඉංග්‍රීසියෙන් පාලි ත්‍රිපිටක සංගමයේ උත්සාහයෙන් එළියට බැස්සුවාම ලංකාවේ අනගාරික ධර්මපාලලා සිංහල ඉස්සහරට ගෙනැත් දාලා ඉංග්‍රීසියෙන් හදාරන්න තිබි හැකියාව සිංහලයාට ම අහිමි කළා.

    //රජයේ මැදිහත්වීම තුල සිදුවන ව්‍යාපාරවල දියුණුවක් නොලබන්නේද කිසිම හේතුවක් නිසාවත් තීරණයක වගකීම කිසිවෙකු හට පුද්ගලිකව බැර නොවන සේ සැකසුන අපේ රාජ්‍ය යාන්ත්‍රනයත් නිසාය.//

    ලෝකයේ මුල් වතාවට ජනතාව අතින් හැදෙන, ජනතාව අතින් පාලනය වෙන ආණ්ඩුවක් යැයි ජනරජයක් පිහිටුවා ගත් ඇමෙරිකාවේ නිර්මාතෘවරු හැම විටම අවවාද කළේ ආණ්ඩුවට විසල් වෙන්නට ඉඩ දෙන්න එපා කියල.

    අද ලෝකය දිහා බැලුවම, ආණ්ඩුවක් හැටියට බලතල වලින් අඩුම ආණ්ඩුව ඇමෙරිකන් ආණ්ඩුව. ඒ නිසාම තමයි තවමත් මුළු යුරෝපයම එකතු කළාම කරන නිෂ්පාදනයට වැඩි නිෂ්පාදනයක් ඇමෙරිකාවට කළ හැකි වී තියෙන්නෙ. ඒක කරන්නෙ ආණ්ඩුව නෙමෙයි, මෙහෙ සිටින නිදහස් ජනතාව තම මුදල් අවදානමකට තබමින්.

    ReplyDelete
  3. බොහොම වටිනා සාකාච්ඡාවක් මෙහි යනබව දැක්කා. මටත් ටිකක් හොන්බ දාන්න අවසර !

    ලංකාවේ දැන් තියන තත්වයට පාලකයින් වගේම මෙතෙක් හිටපු පාලකයින් සහ සිංහල අප
    වගකියන්න ඕන. ධනවාදීව යන්න අවශ්‍ය නම් විදේශිකයින්ගෙන් අවශ්ෂ්‍ය හොද දෙයපමනක් අරගෙන
    ඔවුන් සමග එකට එකතුව යන්න ඕන.ඔවුන්ගේ හැම දේම හොදකියන්නත් බැහැ. නමුත් ලංකාවේ නම්
    ඔවුන්ටත් (පිටරට අය )ගරහමින් ඔවුන්මතම යැපෙමින් අපි තමයි ලොකු මිනිස්සු කියන ජාතියක් බිහිවෙමින්
    තිබෙන බවයි පෙන්නේ. සුනාමි වෙලාවේදී හෝ යුද්දයේදී කොපමණ උදව්කලත් දැන් පිටරට අය විදෙෂ
    බලවේග වෙලා...අනේ අනිච්චං!

    සිංහල රාජ්‍ය භාෂාව කරපු එකනම් ජාතික අපරාදයක්. අදටත් එකෙක්වත් ඒක හදන්න උත්සාහකරන්නේ
    නැහැ. ගොඩක් ලංකාවේ ය සිංහල අපි තමයි ග්‍රේට් කීවාට, මොනවයින්ද ග්‍රේට්?
    අවිහිංසාවෙන් හෝ මොනම දෙයකින් හෝ ලෝකයාට පෙන්නන්න බැරිනම් ඒවා ලංකාවට දාන ෂෝ විතරයි.
    http://www.youtube.com/watch?v=ArqcfDhHg9o

    ධනවාදය සමගම මිනිසුන් අද්යාත්මිකව දියුණු නොවේනම්, එතන විකාරයක් . ලංකාවට අවශ්ෂ්‍ය වැඩ කරන
    උගත් මිනිසුන් ....
    නමුත් ලංකාවේ දැන් වැඩිම, කටින් වැඩකරන පේපර්කොලිෆෛඩ් උද්දච්ච ජාතිවාදී සමාජයක්. පිටරැටියන්ට
    එයාපෝට් එකෙන් ඇතුළුඋන තැන ඉදන් පිටවෙන තැන දක්වා අපේ ජාතියේ ග්‍රේට් තැන් කොපමණ දකින්න
    ලැබේද.

    යුරෝපීය යුනියනය අද බංකොළොත් වෙමින් යනවා කියන එකනම් නිකම්ම ජෝක් එකක්. ඒක හරියට
    චීන්නු දැන් ඩොලර් එක බැහැල ඇමෙරිකාවට කෙලවෙලා කියනවා වගේ වැඩක්. මේ වෙලාවේ US
    හෝ EU වලට මුකුත් වෙන්නෙ නැහැ. මේවෙලාවේ අපේ රටවල් ගන්න තීරණ තමයි රටේ අනාගතයට
    බලපාන්නේ.
    කොහොම උනත් මම ඉපදුන හැදුන රටට මමත් ඔබලාවගේම ආදරෙයි නිසා මෙතන අනන් මනං ලියන්න හිතුනා.
    කාගේවත් හිත රිදුනානම් සමාවෙන්න.
    සිංහලයින්ගේ හොඳ ගතිගුණ අපිවත් ලෝකයාට පෙන්වමු. අපිට කරන්න පුළුවන් එපමන්යිනේ!

    ReplyDelete