Friday, November 4, 2011

මගේ එකේ පන්තිය

එවකට අප පදිංචිව සිටියේ තෙතරු විදුහල් කන්දට ඔබ්බෙන් පිහිටි ග්‍රාමයක වූ රජයේ නිවාසයකය. තෙතරු කන්දෙන් බැස තාර පාරට පැමිණීමට ඇති කෙටි මගකි. කඳු මුදුනේ පිහිටි බාලිකා විදුහලේ උතුරන වැසිකිලිය අසලින් සීරුවෙන් බැස ගල් මුල් මතින් වැටුණු එම මග අසල වූ පෞද්ගලික ඉඩම් මැදින් ළමුන් ගමන් කිරීමෙන් ම සෑදුන එකක් විය යුතුය. එහි නොයෙක් ශාකයන්ගෙන්ද හෙවන වූ නොසාම අඳුරු ගුප්ත බවක් උසුලයි. එය හැරුණුවිට මගක් දුර ඇති "බිලි ළිඳ" වටා ගෙතුණු බිය ජනක කතා රැසකි. සැමදා තෙත් බරිත සේදී ගිය එම මඟ වැසි දිනවල සැලකිය යුතු ජලපහරක් ගලා බසින දොළක් බවට පත්වේ. එවිට කුඩා අපහට එය සතුටක් ගෙනෙයි.

තූපයාගේ හා සක්කරයාගේ ගෙවල් පිහිටියේ මේ මග අසබඩය.

පාසල නිමවී සැතපුමක් පමණ වූ දුරක් ගෙවා පාගමනින් මම ගෙදර පැමිනෙමි. අප යන මගෙහි ගමන් ගන්නා අප සැම එකිනෙකා හොඳින් හඳුනමු. ළදරු පාසල් යන සමයේ පටන් මා සමග මේ පාරේ ගමන් කරන අය කිහිප දෙනෙකි අලි මඩුව දක්වා චාලයා ද බුරුම පන්සල දක්වා පෝරිසාදයා හා තවත් ඔබ්බට හෙට්ටියා ද භාර කරුවන් සමග පැමිණෙත්.

නමුත් එකේ පන්තියේ දීම කෙමෙන් අපි තනිව ගෙදර ඒමට පුහුණු වීමු. අප ගෙදර යන ගමනේ මොහොතක් පරණ ළදරු පාසලේ නැවතී යාමට අපට අවසරය. සැවොම හොඳින් හඳුනන "ලියනගේ මිස්" ආදරයෙන් අපට අමතයි. මගේ අක්කා එහි පැමිණ "අපේ මල්ලි ඉන්නවාදැයි" කියා කෑගසන තුරු මිදුලේ පිහිටි ඔන්චිල්ලා පදිමින් සිට අපි ගෙදර යාමට පිටත් වෙමු.

අප යන මග දෙපස අපගේ උසුළු විසුළු නිසා කරදර විඳින ඇත්තන් ද කිහිප දෙනෙකි. නමුත් ප්‍රසිද්ද බේබද්දෙකු වූ අරලික්අප්පුට අපි බිය වීමු. අහිතකර රසායනික දේ යහමින් භාවිතයට නොගැනුණ ඒ සමයේ අප යන මග පාර දෙපැත්තේ ඇති කානුවල දිස්වූ විසිතුරු මාළු අල්ලන අපි උදේ ගෙදරින් ගෙනා කෑම පෙට්ටිවලට දමා ගෙදර ගෙනියමු.

තෙතරු විදුහලේදී මගේ පළමු මිතුරා දිග රුවන් නමි! ඔහුගේ නම රුවන් වුවත් අම්මා ගෙන් වෙන්වී ලද දුකෙන් හොටු පෙරමින් හඬමින් සිටි ඔහුට ඔහුගේ නම කියාගතහැකි වූයේ 'ගුවන්' යනුවෙන් පමණි. මා ගිය ළදරු පාසලේ සිට පින්වත් පිරිමි දරුවන් බොහොමයක්ද තෙතරු විදුහලට ඇතුලත් විය. එනිසා මාහට එහි තනියක් නොවීය. ඔවුන් ඔවුන්ගේ නියම නමින්ම හඳුන්වන කල, පෝරිසාදයා, සක්කරයා, තූපයා, චාලයා, වඩයා, දරයා, හෙට්ටියා යනාදීන් ලෙසයි. නමුත් ඔවුන් හැරුණුකොට තෙතරු විදුහලේ පලමු ශ්‍රේණියේ සිට සහෝදර සිසුවන් ලෙස අවසන දක්වා එහි සුවිශේෂ සිදුවීම් සඳහා දායක වුනු අය බොහොමයකි.

මගේ එකේ පන්තිය පුදුම එකකි! ඒ වටා සිදුවුණාවූ සිදුවීම් බොහොමයක් මට මතකය.

සැබෑ ගුරු මෑණියක වූ රාජපක්ෂ මහත්මිය අපගේ පළමු පන්තිභාර ගුරුතුමිය වූවාය. පියකරු ඔසරියක් ඇඳි ඕ තොමෝ අප විසින් එකතුකොට පාසලට ගෙනයන ඔලිඳ හා වට්ටක්කා ඇට කළුකොළය මත මැලියම් ගා අලවන්නට සැලැස්වීමෙන් ජීවිතයේ පළමු වරට අප සිත් හික්මවූවාය. පන්සලයේ කොනින් අල්වා අකුරු ලියවූ ඇය කුඩාවුන් සේ සලකා කිසිවිටෙක අපහට නොතැලූවෙන් ඇයගේ ආදරය තවමත් අප සිත් තුල සුවඳ දෙයි.

අපගේ පන්තිය පිහිටියේ තෙතරු ලාංජනය රැඳී ඉදිරිපස ගොඩනැගිල්ලේ ය. ඊටම සබැඳි පන්තියේ ගුරුතුමිය අපේ වඩයාගේ මවයි. කෙල ගසන ලාලාගේ පුටුවට නැග, තෙතරු ලාංජනය රැඳී බිත්තියේ තිබූ ජනේලයෙන් ඉවත බලා සිටින මා දැක, එම ජනේලයෙන් පහලට වැටී මියයා හැකි බව බව සිහිවීමෙන්, ඇය බියවී මවෙත දිවවිත් මගේ කම්මුලට පහර දුන්නාය.

රජයේ නිවාස වල එවකට අපේ අසල් වාසියාද තෙතරු විදුහලේ ගුරුතුමියකි. යම්කිසි ආතතියකින් පෙළුන ඇය සියලු අසල් වැසියන් හා රණ්ඩු කළාය. සිය සැමියා කෲර ලෙස සැකකොට ඔහුට හිරිහැර කළාය. කිසියම් අවස්ථාවක අපේ ගෙදර තුල සිදුවන යමක් දැනගැනීමට අවැසි වනවිට ඇය පසුදින මා කැඳවා ඒ පිලිබඳ ඇසුවාය.

"මොකද පුතා අම්මයි තාත්තයි මං ගැන කතාකරන්නේ ?"
මම දන්නේ නෑ මිස්...හෙට අහල කියන්නද?
නෑ.. නෑ ඕන නෑ..මම නිකමට ඇහුවේ...! පුතා පන්තියට යන්න!

කෙසේ වී නමුත් නමුත් අපේ හැම ගුරුතුමියක්ම අප වෙනුවෙන් කල සේවය අගනේය. සැමදා අපි ඔවුන් සිතින් සමරමු.

තෙතරු විදුහලේ සියවස සැමරුම එම වසරේ සිදුවිය. එවකට ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරූ එම ප්‍රදර්ශනය ගැන ඇතැමෙක් තවමත් කතාකරයි. මම මට වඩා වසරක් වියැති මගේ අක්කාත් සමක එකී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියෙමි එවකට පාසල්බිම නුහුරු මම අක්කගේ අතින් අල්ලාගෙන පෝලිමේ ගොස් නොයෙක් ප්‍රදර්ශන කුටි නැරඹුවෙමි. කෙමෙන් සෙනඟ අතරේ වල්මත් වුනු මම අක්කා සොයා ගනු බැරිව බිය වීමි. මා බෙරිහන් දී අඬනා විට ශබ්ද විකාශනයෙන් අමතා අක්කා මාවෙත ගෙන්වා දුන් හැටි මට තවමත් මතකය.

මාදන්, විරාජ්, පැට්‍රික්, කිංස්ලි ආදී බෙට්ටන් ගෙන්ද ලාල්, එළුඅම්මා, අඹයා, සුද්දා, අතේ කැපුම් තුවාල කැළලක් සහිත ගඩාපි, ආරියවංස ආදී තවත් විනෝදමත් චරිතයන්ගෙන් ද සමන්විත අපේ එකේ පන්තියේ සිදුවීම් කියා නිම නැත!

නම් ගම් මන:කල්පිතය, හොඳ හොඳ සෙල්ලම් තව පසුවටය!

No comments:

Post a Comment